ආයුබෝවන් ගුඩ්මෝනින් හැදුනේ මෙහෙමයි
https://33000g.blogspot.com/2014/08/blog-post_98.html
ආයුබෝවන් ගුඩ්මෝනින් හැදුනේ මෙහෙමයි
ශ්රී ලාංකීය ජන සංගීතයට නොමැකෙන මතකයක් එක් කළ ලයනල් රන්වලයන්ගේ 74වැනි ජන්මදින සැමරුම යෙදෙන මොහොතක රන්වල ළමා බළකායෙන් බිහිවුණ “ලොකු උනහම වෙන්නේ කවුද” යන මෙම ගීතය පිළිබඳව සහන් රන්වල හා එහි පද රචනය කළ ගාමින්ද සමග පුංචි කතාබහක අප නිරත වුණා. එහිදී සහන් අපට පැවසුවේ මෙවැනි දෙයක්.
රන්වල ළමා බළකාය විසින් ගායනා කරන “ලොකු උනහම වෙන්නේ කවුද? කියන මේ ගීතය නිර්මාණය වෙලා මුල්ම වරට ප්රසංගයක් සඳහා ගායනා වෙන්නේ 2011 වසරේදීය. එදා මුල්ම ප්රසංගයට ඉදිරිපත් වූ දරුවෝ දැන් ලොකුයි. අද වෙනකොට මෙය ඉදිරිපත් කරන්නේ අලුත් පිරිසක්. ඇත්තටම මේ ගීතය ජනප්රිය වූයේ මේ මෑතකදී. පසුගිය කාලේ රන්වල බළකායේ බොහෝ ප්රසංගවල මෙය ඉදිරිපත් කෙරුණා. ඒ වගේම අන්තර්ජාලය හරහා මෙම නිර්මාණයට විශාල ප්රචාරයක් ලැබෙමින් පවතිනවා.පසුගිය දවස් වෙනකොට ලක්ෂ තුනහ මාරක පමණ පිරිසක් මෙය අන්තර්ජාලය හරහා නරඹා තිබුණා.
මේක ළමා ගීතයක් නෙමෙයි. මේ පණිවිඩය දෙන්නේ වැඩිහිටියන්ට. නමුත් ඒ පණිවිඩය අරන් යන්නේ ළමයි. හැබැයි මෙය ඉතා පරිස්සමින් කළ දෙයක්. එතැනදී බොහෝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව මට අවශ්ය ලෙස ගාමින්ද එහි පද ටික රචනා කරලා දුන්නා.
මේ ගැන ඔබට මොනවගේ ප්රතිචාර ද අහන්න දකින්න ලැබෙන්නේ?
තවම මේ ගැන නරකක් කියන කෙනෙක් ගැන නම් ආරංචි වෙලා නැහැ. එහෙම කියනවද කියලා දන්නෙත් නැහැ. නමුත් ළමයින්ව පාවිච්චි කරලා බොහොම බාලවිදියේ නිර්මාණ කෙරෙන කාලෙක මේ වගේ දෙයකට බහින්න හේතුවකුත් නැහැ. මම හිතන්නේ තාත්තාගේ අනිත් නිර්මාණය වුණු ගීතවලට පසුව රන්වල බළකාය වැඩිපුරම කතාබහට ලක්වුණු ගීතය වන්නේ මේ ගීතය. එහි තිබෙන ප්රාසාංගික බවත් කුඩා දරුවන්ගේ හා ගුරුවරියගේ රංගනයත් ඒ සඳහා බොහෝ ලෙස බලපානවා.
මේ ගීතයේ මුලින් හිටපු අය නෙමෙයි දැන් ඉන්නේ. ප්රාසාංගික බව කියන දෙය එක් එක් කෙනාට සුවිශේෂයි. ඒ නිසා එවැනි වෙනසකුත් අපේ නිර්මාණවලදී සිදුවෙනවා. විශේෂයෙන් මෙම ගීතයේදී අපි කාටවත් එක රිද්මයකට හෝ තාලයකට අඩි තියන්න පුරුදු කළේ නැහැ. එහෙම වුණා නම් එය නර්තනයක ස්වරූපයක් ගන්නවා. අපිට අවශ්ය වුණේ මෙය නාට්යමය ස්වරූපයෙන් පවත්වාගෙන යන්න.
දැන් සමාජයේ පුංචි කතාබහක් තියෙනවා. ළමයින්ව යොදාගෙන නිර්මාණ කරල ගොඩයන්න හදන අය වැඩිබවට. මේගැන මොකද හිතෙන්නේ?
ළමයින්ගෙන් හරි වෙනත් අයගෙන් හරි කොහොම කළත් ඒවායේ අරමුණු මොනවද කියන එක තමයි මූලිකවම තේරුම් ගත යුත්තේ. මුදල් සඳහාද, වෙනත් අරමුණක් සඳහාද, ඒවා සමාජයට කෙතරම් බලපානවාද කියන ප්රශ්න ගණනාවක් මෙතැනදී මතුවෙනවා. ඇත්තටම සමහර නිර්මාණ තියෙනවා ඒව ළමයින්ට සුදුසුද කියල හිතෙන තරමේ දේවල්. නමුත් මේ ගීතය අන්තර්ජාලයෙන් හරි වෙනත් ක්රමයකට හරි මුල් ම වරට දැකපු අයගෙන් සියයට අනූවක් විතර අනුමාන කරල තියෙනවා මෙය රන්වල බළකායේ වැඩක් බව. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මොකද මේ ගීතය අතරතුර මම හෝ අපේ කණ්ඩායමේ අය මෙහි පෙනී සිටින්නේ නැති නිසා. ඒත් මිනිස්සු අපිව නිවැරැදිව හඳුනා ගැනීම සතුටක්.
ඒ වගේම කියන්න ඕන මෙහි රංගනයෙන් දායක වන රන්වල බළකායේ අපේ සියලුම ශිල්පීන් තමන්ගේ කාර්ය නිවැරැදිව ඉටු කර තිබීම සෑමදෙනාගේම පැසසුමට ලක්වූ කරුණක් බව.
මෙම අපූරු ගීතයේ පද රචකයාත් බොහොම වෙනස්ම විදිහේ ඔබ හොඳින් දන්නා හඳුනන කෙනෙක් ගාමින්ද මේ කතා බහට එක් වූයේ මෙවැනි මතකයන් ද සමගයි.
ලයනල් රන්වලයන් කියන්නේ මාගෙත් සංගීත ගුරුවරයා. ඒනිසා පාසල් කාලයේ සිටම සහන්ල අපි එකට වැඩ කළේ. ඒ නිසා ඊට පසුකාලීනවත් සහන් කළ හැම වැඩකදීම මාත් ඒ කොතැනක හරි මොන විදියට හරි හිටියා. හරියන්න හෝ වරදින්න හරි. අපි මේ විදිහට එකතුවෙලා නිර්මාණය කරපු ප්රසාංගික කලාව තමයි දැන් බොහෝ තැන්වල දකින්න ලැබෙන්නේ. මේ ගීතය ගැන කියනව නම් (ඇත්තටම මෙය ගීතයක් නෙමෙයි, විරුඳු පෙළක්.) සහන් ට අවශ්ය වුණා.
රන්වල ළමා බලකායේ දරුවන්ගෙන් ප්රාසාංගික ඉදිරිපත් කිරීමක් කරගන්න. එතැනදී තවත් එක් ළමා ගීතයක්ම නොකර ළමයින්ව භාවිත කරමින් වෙනත් පණිවුඩයක් දෙන්න තමයි ඔහුගේ කල්පනාව තිබුණේ. ඇත්තටම දැන් ළමා ගීත ඕන තරම් තියෙනවානේ. මෙතැනදී අපට අවශ්ය වූයේ හැමෝටම විඳින්න පුළුවන් විදිහේ වෙනස් නිර්මාණයක් කරන්න.
මගේ නිර්මාණවල නිරන්තරයෙන්ම හාස්ය කියන දේ තිබෙන නිසා ඒ හරහා මේ අලුත් නිර්මාණය කිරීම තමයි අපේ සැලසුම වුණේ. පුංචි කාලේ අපෙනුත් අහන්නේ ලොකු වුණහම කවුරු වෙන්නද කැමැති කියලා. එතකොට ගොඩක් ළමයි කියන්නේ දොස්තරලා, ඉංජිනේරුවෝ වගේ අයගේ නම්. අන්න එතැනින් අල්ලගෙන සමාජයට පණිවුඩයක් අරන් යමු කියල අවසානයේදී අපි කතා වුණා. නමුත් ලොකු වුණහම වෙන්න කැමැති කව්ද කියල ඇහුවම කියන සාම්ප්රදායික චරිතවලින් මිදිලා ටිකක් වෙනස් විදිහේ මාතෘකාවලට යන්න පුළුවන් චරිත ටිකක් අපි මීට එක්කලා.
මම හිතන්නේ මෙහි රස වැඩිවීමට එකම හේතුවත් ඒක. ජනාධිපති උපදේශක කෙනෙක්, සංස්ථා සභාපති කෙනෙක්, ක්රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වගේ දේවල් පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් ඔහු හීනෙකින්වත් නොහිතන දේවල් වෙන්න පුළුවන්. නමුත් අපේ අවශ්යතාවය වුණේ ළමයින් හරහා සමාජයේ ලොකු අයට පණිවුඩයක් රැගෙන යැමයි. ඒ නිසා මම කියන්නේ මෙය ළමා ගීතයක් නෙමෙයි. ළමයින් තුළින් වැඩිහිටියන් උදෙසා නිර්මාණය වූ ගීතයක්……….
මේක ළමයින් වෙනුවෙන් ළමයින් භාවිත කරමින් බොහෝ නිර්මාණ හා වැඩසටහන් බිහිවෙන යුගයක්. ඒ පිළිබඳව ඔබේ මතය කුමක්ද?
මට නම් හිතෙන්නේ මේ බොහෝ තැන්වලදී ළමයින් වෙනුවෙන් කියල කිව්වට කෙරෙන්නේ ලොකු වැඩ. එතැනදී ළමයා කියන කෙනාව විනාශ වෙනවා. දැන් ලංකාවේ හැමදේකටම අයිතිකාරයෝ ඉන්නවනේ. ගොවියෝ ටික අයිති කට්ටියක් ඉන්නවා. සිංහලකම අයිති කට්ටියක් ඉන්නවා. ජන සංගීතය අයිති කට්ටියක් ඉන්නවා. (මේ සහන්ල වගේ) ඒ වගේම ළමයින්ව අයිතිකර ගත්ත පිරිසකුත් ඉන්නවා. චිත්රපටවල, සින්දුවල, වෙනත් වැඩසටහන්වල තම තමන්ගේ අරමුණු වෙනුවෙන් මේ අය ළමයින්ව පාවිච්චි කරනවා. මෙන්න මේ ළමයින්ගේ අයිතිකාරයෝ වෙලා ඉන්න අයගෙන් තමයි ළමයින්ට ලොකුම හානිය වෙන්නේ.
සමහර චිත්රපටවල ළමයි ඉන්නේ නිරුවතින්. දැනුවත්ව හෝ නොදැනුවත්ව පුංචි ළමයින්ව එහෙම පාවිච්චි කරන්න බැහැ. සමහරවිට ඒව ළමයා ගැන කතා කරන නිර්මාණ වෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බැහැ. මොකද කවදහරි ඒ ළමයා ලොකු වෙනවා. ඒ නිසා ඒක ළමා අපයෝජනයක්. මම හිතන්නේ මේක වෙනම කතා කළ යුතු මාතෘකාවක්.
අද වනවිට ළමා පරපුර පමණක් නොවෙයි තරුණ පරම්පරාව ගැනත් එහි නිර්මාණාත්මක රසවින්දනය ගැනත් විශාල විවේචන තිබෙනවා.?
ඇත්ත. ඒ දේ මමත් පිළිගන්නවා. නමුත් මම කියන්නේ කිසිම වෙලාවක අලුත් පරපුරට බනින්න පැරණි පරම්පරාවට අයිතියක් නැහැ. මොකද අලුත් පරම්පරාව බිහි වුණේ ගොඩනැගුණේ පැරණි පරම්පරාවේ උවමනා එපාකම් අනුව. ළමයි නරක්වෙනව නම් ඒකට දෙමවුපියෝ වගකියන්න ඕනේ. අපේ ළමයි කවදහරි නරක් වෙනව නම් නරක් වෙන්නේ අපි හින්දයි. මොකද ඉපදෙන කොටම ඒ අය නරක්වෙලා හිටියේ නැහැනේ. ඒ නිසා මම කියන්නේ අපි හරියට හිටියොත් ඊට පස්සේ එන අය හරියට ඉදියි.
මේ ගීතය ගැන තවත් යමක් කිව යුතුයි. මෙය එක්වරම ලියෑවුණු දෙයක් නොවෙයි. මමයි සහනුයි මතක් වෙන වෙන සැරේට කතා කරල මෙන්න මේ චරිත ගැන ලියෑවුණොත් හොඳයි කියල යම් අදහසක් ඔළුවට දාගත්තා. ඒ නිසා ගොඩක් කල් යනකම් අදහස් ටිකක් පමණයි අප ළඟ තිබුණේ. වචන තිබුණේ නැහැ. අන්තිම මොහොතේ තමයි මෙහි වචන ටික දාල ගීතය සම්පූර්ණ කරල සහන්ට දුන්නේ.
