කනප්පුවක් යවා සොරුන් අල්ලන්න පුළුවන්ද?

නැතිවූ භාණ්ඩ සහ ඒවා පැහැර ගත් සොරුන් ඇල්ලීම පිණිස කනප්පු ගුරුකම හෙවත් කනප්පු කරකැවීම අතීතයේ සිට ශ‍්‍රී ලාංකීය ජන සමාජයේ සුලබව දක්නට ලැබුණු දෙයකි.

එහෙත්, අප රටේ නීති පද්ධතීන් ශක්තිමත්ව සොරකම් පිළිබඳ විමර්ශනය ‍පොලීසියට බාර කෙරුණු පසු සොරුන් ඇල්ලීම පිළිබඳ මෙබඳු ගුප්ත ක‍්‍රම අභාවයට යමින් තිබිණ. එහෙත්, දැනට දශක දෙක තුනක සිට විද්‍යුත් සහ මුද‍්‍රිත මාධ්‍යයන් මගින් අප රටේ පැවැති සාම්ප‍්‍රදායික ගුප්ත විද්‍යාවන්වලට අසීමාන්තික ප‍්‍රසිද්ධියක් ලබාදීමට පටන් ගෙන තිබේ. එනිසා කලක් අභාවයට යමින් තිබූ කනප්පු ගුරුකම හෙවත් කනප්පු කරකැවීමද අද වන විට මහත් පුනරුදයක් ලබා ජනකාන්ත අංගයක් බවට පත්වෙමින් පවතී.

මේ අතර පසුගිය ජූලි 31 බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ කොස්ගොඩ හිද්දරුව ප‍්‍රදේශයේ සොරකමක් සිදුවිය. ඒ මුහුද අද්දර ඉදිවෙමින් තිබූ කාමර එකසිය හැත්තෑ දෙකකින් යුත් සංචාරක හෝටල් වැඩබිමකය. මුහුදුවෙරළ සහ එම හෝටල් භූමිය වෙන් කිරීම පිණිස ඉදිකොට තිබූ ආරක්ෂිත දැල් කපා වැඩ බිම තුළට රහසින් ඇතුළු වූ පුද්ගලයකු හෝ කිහිප දෙනකු විසින් රුපියල් හාරලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා ඉදිකිරීම් සඳහා යොදා ගන්නා යන්ත‍්‍ර තුනක් පැහැරගෙන යාම එම සොරකමය. ඒ සම්බන්ධයෙන් කොස්ගොඩ ‍පොලීසිය වෙත පැමිණිල්ලක් කෙරුණු අතර ඒ අනුව එදින රාත‍්‍රියේ එම වැඩබිමෙහි සේවයට යොදා සිටි පුද්ගලික ආරක්ෂක සේවකයන් සිව් දෙනා ‍පොලිස් අත්අඩංගුවට පත්ව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත යොමු කරනු ලදුව ඇප මත මුදාහැර තිබිණ.

ඒ කෙසේ හෝ මෙම සොරුන් ඇල්ලීම පිණිස නීති අංශ ක‍්‍රියාත්මක වන තෙක් නොසිට ඒ සඳහා විකල්ප ක‍්‍රියාමාර්ගයක් ද අත්හදා බැලීමට තීරණය කළ එම භාණ්ඩ හිමිකරුවෝ ඒ සඳහා ඉකුත් අගෝස්තු 05 අගහරුවාදා එම වැඩබිමට හික්කඩුව සීනිගම ප‍්‍රදේශයෙන් කනප්පු කරකවන්නකු කැඳවා ගත්හ. ඔහු විසින් ජීවම් කරනු ලදුව පණ පිහිටවනු ලැබූ කනප්පුව එහි සිටි දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශය ලබමින් පුරා පැය දාහතරක කාලයක් තුළ කිලෝ මීටර් එකොළහක පමණ දුරක් ගමන් කරන්නට වූයේ බොහෝ දෙනෙකුගේ විස්මය මුසු අවධානයට ලක්වෙමිනි.

එමෙන්ම මේ වන විට කනප්පු ගුරුකම් සඳහා මාධ්‍ය මගින් ලබාදී ඇති ජනකාන්ත භාවය කොතෙක් ද යත් එම කනප්පු කරකැවීම, නැරඹීම පිණිස දහස් ගණන් ජනී ජනයා රැුස්වනු ලදුව කොළඹ ගාලූ පාර ඇතුළු තවත් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවා ඇති වූ බවක් පැවැසෙයි. එහෙත්, එපමණ දුරක් ගමන් කළද එම කනප්පුවට එම සොරකම සම්බන්ධ නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

මේ කනප්පු කරකැවීමක් සම්බන්ධ තවත් රසවත් සිදුවීමකි,

මීට දශක කිහිපයකට පෙර වයඹ පළාතේ එක් ‍පොලිස් බල ප‍්‍රදේශයක ගෙවල් බිඳීමක් සිදුවිය. ගෙහිමියන් ඒ සම්බන්ධයෙන් ‍පොලීසියට පැමිණිලි කළ ද එම සොරකම පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට නොහැකි විණි. කනප්පු ගුරුකමක් මගින් එම ගෙවල් බිඳීමට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීමට ගෙහිමියන් තීරණය කොට ඇත්තේ එබැවිනි. ඒ කෙසේ හෝ ඔවුන් අපේක්ෂා කළ පරිදිම ඇදුරකු විසින් ජීවම් කරන ලද කනප්පුවට ඉහත සිද්ධියේදී මෙන්ම එහි සිටි දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශයෙන් ගමන් අරඹා ඉතා කෙටි වේලාවක් තුළ එම සොරකම කළ පුද්ගලයාගේ නිවස ඉදිරියට ගොස් නතර වීමට හැකි වී ඇත. ඒ අනුව ‍පොලීසිය විසින් කළ ප‍්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා විසින් තමන් ඒ සොරකම කළ බවට පා‍පොච්චාරණය කොට තිබේ.

එහෙත්, එම සිදුවීම එතැනින් නතර වන්නේ නැත. එම සොරා හසුවීමත් සමග කනප්පු කරකැවීමෙන් සොරුන් අල්ලා ගත හැකිය යන මතවාදය කෙරෙහි ප‍්‍රදේශවාසීන් තුළ පැවැති විශ්වාසය වඩාත් තීව‍්‍ර ලෙස ඉහළ නැංවිණි. එම ප‍්‍රදේශයේ ප‍්‍රභූවරයකුගේ නිවසේ තිබූ ස්වර්ණාභරණ කිහිපයක් හිටිහැටියේ අස්ථාන ගත වී ඇත්තේ ඔය අතරේය. මෙහිදී එම ප‍්‍රභූවරයා ඒ සම්බන්ධයෙන් ‍පොලීසියට පැමිණිලි කරන මුත් ඉහත සඳහන් කනප්පු ගුරුකමට ද නිතැතින් ඔහුගේ මතකයට නැංවෙන්නට ඇත. ඒ අනුව එම නැති වූ භාණ්ඩ සහ එය සොරාගත්තවුන් සෙවීමට ‍පොලීසිය යුහුසුළු වන අතරේ කනප්පුකරුවකු සිය නිවසට ගෙන්වා ගත් එම ප‍්‍රභූවරයා සොරුන් ඇල්ලීම සඳහා ඉහත සඳහන් කළ පරිදිම ජීවම් කළ කනප්පුවක් යවා ඇත. දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශය සහිතව ගමන් ඇරඹූ එම කනප්පුව ද එම ගම්මානය මැදින් බඩවැටි,  ඕවිටි, වෙල්එළි හරහා වැටී ගත් අප‍්‍රකට මගක් ඔස්සේ පිවිසියේ යාබද ගමටය. එය සමාජයේ තරමක පහත් යැයි සම්මත කුලයක ජනතාව ජීවත් වූ ගමකි. එමෙන්ම එහි වෙසෙන්නවුන් ඉක්මනින් අඬ දබරවලට පටලැවෙන කලහකාරී පිරිසක් බව ද ප‍්‍රසිද්ධ කරුණක් විය.

ඒ කෙසේ හෝ දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශයෙන් එම ගම්මානයට පිවිසි කනප්පුව එහි වෙසෙන නොම්බර එකේ නගරංකාරයකු ලෙස ප‍්‍රසිද්ධ අයකුගේ ගෙමිදුලට ගොස් නතර වූයේ කිසිවකුත් නොසිතූ ලෙසිනි. එහිදී එම කනප්පුව තම නිවසට පැමිණි කාරණය අසා දැන ගත් ඔහුට ඌරු ජුවල් නැංග්ගේය. එනිසාම හෙතෙම ඒ මොහොතේ අතට හසුවූ ‍පොලූ මුගුරකින් කනප්පුව සමග පැමිණි පිරිසට හිතේ හැටියට සංග‍්‍රහ කරන්නට වූයේ ඒ පැමිණි කිහිප දෙනකුට තුවාල ද සිදුකරමිනි. කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් ද පහර කෑමට ලක්වූවෝ ‍පොලීසියට පැමිණිලි කළහ. ඉන්පසු මෙය ඒ ගම් දෙක අතරේ වර්ධනය වන ආරෝවක් බවට පත්වූයේ ‍පොලීසියට තවත් පැමිණිලි ගොන්නක් ද එක් කරමිනි. කෙසේ හෝ ගම් දෙක අතරේ පවතින මෙම ආරවුල කුලවාදය ද පදනම් කරගෙන දිගින් දිගටම ඇවිළී යන අතරේ එම ප‍්‍රභූවරයාගේ නිවසේ තිබි නැති වූ රන් ආභරණ සොයා ගැනීමට ‍පොලීසියට හැකි විය. එහෙත් ඒ සොරකමට යාබද ගම්මානයේ පුද්ගලයා කිසිදු අයුරකින් සම්බන්ධ නොමැති බවත්, ඒ සොරකම සිදුකොට ඇත්තේ එම නිවසේම සේවය කරන ගෘහ සේවිකාවක බවත් පසුව අනාවරණය විය.

තමන් සහකාර ‍පොලිස් අධිකාරිවරයකු වශයෙන් ‍පොලිස් සේවයට බැඳුණු මුල් යුගයේ අසා දැනගත් මෙම අපූරු සිදුවීම පිළිබඳව මා හා කියා සිටියේ විශ‍්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකු විසිනි.

කනප්පු කරකැවීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු විමසන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තිබේ. එනම්, මොකක් හරි ගුප්ත බලයක් නැත්නම් කනප්පුවක් තනියම ගමන් කරන්නේ කොහොමද? යන්නය. එහෙත්, මා දන්නා පරිදි නම් තනිව ගමන් කළ හැකි කනප්පුවක් මේ සකල ලෝක ධාතුවේ කොතැනකවත් නැත. කනප්පු කරකැවීමකදී ඒ කනප්පුව ගමන් කරනුයේ දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශය ද සහිතවය. අනික මේ සඳහා කනප්පුවක් මිස ටී‍පෝවක් යොදා ගත නොහැක. ඒ ටී‍පෝවක පාද පිහිටීම අනුව එය පහසුවෙන් කරකැවිය නොහැකි බැවිනි. මේ අතර දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශය ලැබූ පමණින් මිනිසකුට මෙන් පාරට බැස ගමන් කිරීමට කනප්පුවට ශක්තියක් ලැබෙන්නේ කෙසේදැයි බොහෝ දෙනකු මගෙන් ද අසා තිබේ.

අප කරන සියලූ ක‍්‍රියාවන් අපගේ සිතුවිලි හෙවත් ච්තෙනාව මුල්වෙයි. එහෙත්, අප සිතුවිලි හෙවත් ච්තෙනා ලෙස හඳුන්වනුයේ අපගේ උඩු සිතේ ජනිත වන ඒවා පමණි. නමුදු අපගේ උඩු සිතට රහසින් යටි සිත තුළ පැනනගින සහ ක‍්‍රියාත්මක වන ඉතා සියුම් සිතුවිලි ච්තෙනා ගොන්නක් ද වෙයි. එහෙත්, ඒවා ක‍්‍රියාත්මක වනුයේ අපට ද හොර රහසිනි. අපගේ උඩු සිතට නොහැගෙන නොදැනෙන පරිදි අපගේ යටි සිත මෙසේ ක‍්‍රියාත්මක වන්නේ කුමන බලපෑමක් නිසාද?

මනෝ විද්‍යාවේ එය හැඳින්වනුයේ ව්‍යංගය යනුවෙනි.

ඒ ව්‍යංගය ක‍්‍රියාත්මක වීම කනප්පු කරකැවීමට සම්බන්ධ වනුයේ කෙසේද? ඊළගට ඔබ එසේද අසනු ඇත. කනප්පුව කරකැවීමක දී අත තබා හිඳින දෙදෙනාගේ යටි සිතේ ක‍්‍රියාකාරීත්වය මත එම කනප්පුවට කිසියම් සෙලවීමේ හෙවත් චාලක බලයක් ලැබේ. මෙම බලය විද්‍යාත්මකව හැඳින්වනුයේ සංකල්ප චාලක බලපෑම වශයෙනි. අදටත් අප සමාජයේ බොහෝ දෙනකුට අද්භූත බලයක් සේ පෙනෙන මෙහි විද්‍යාත්මක පදනම ලොව හමුවට ඉදිරිපත් වූයේ හරියටම මීට වසර එකසිය හැටකටත් පෙරය. මෙම නියාමය ලොවට හඳුන්වා දීමට මුල්වී ඇත්තේ විලියම් බෙන්ජමින් කාපෙන්ටර් නම් ඉංග‍්‍රීසි ජාතික වෛද්‍යවරයාය. ඒ 1854 වසරේදීය.

සාමාන්‍යයෙන් කනප්පුවක් කරකැවීම පිණිස බොහෝ විට තෝරා ගන්නේ එම සොරකම සිදුවූ ප‍්‍රදේශයේම ජීවත් වන ඒ පරිසරය වටපිටාව පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇති දෙදෙනකි. එහිදී බොහෝ කනප්පු ඇදුරන් කරනුයේ ඒ සඳහා කැමැත්තක් දක්වන්නවුන් හට ස්වේච්ඡුාවෙන් ඒ සඳහා ඉදිරිපත් වීමට ඉඩහැරීමය. එම හොරකම සම්බන්ධයෙන් කිනම් අයුරකින් හෝ සංවේදී වන්නවුන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට ඉඩ හැරීම එහි සෑබෑ අරමුණයි. මගේ නිරීක්ෂණය අනුව මෙලෙස කනප්පු කරකැවීම සඳහා වැඩිපුරම ඉදිරිපත් වනුයේ කාන්තාවන් සහ ළමුන්ය. ඔවුන් තුළ පවත්නා ස්වාභාවික සංවේදීතාව වැඩිහිටි පිරිමින්ට වඩා තීව‍්‍ර මට්ටමක තිබිම මීට හේතුව බව පෙනේ. කනප්පුවක් කරකැවීම පිණිස එසේ දෙදෙනකු ඉදිරිපත් වීමෙන් පසු ඇදුරා විසින් එම කනප්පුව ජීවම් කිරීම මෙහි සාමාන්‍ය ක‍්‍රමවේදයයි. එවිට එසේ අත තබා හිඳින්නවුන් තුළ ව්‍යංගය නම් මානසික සාධකය පිබිදීමත් සමග කනප්පුව හෙමි හෙමින් සෙලවෙන්නට පටන් ගනී. එහෙත් ව්‍යංගය පිබිදීම ද පෞරුෂය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව කිව යුතුය. මෙහිදී මායා රෝගී පෞරුෂය නමින් හැඳින්වෙන පුද්ගලයන් තුළ ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යංගය පිබිදෙන බව අනාවරණය වී ඇත.

මෙහිදී එසේ කනප්පුවට අත තබා හිඳින එක් පුද්ගලයකු තුළ ව්‍යංගය පිබිදී කනප්පුව සෙමින් සෙලවීමටද පටන් ගත් සැනින් එයට අත තබා හිඳින අනෙකා ද ඊට සංවේදීවන බැවින් ඔහු තුළද ශීඝ‍්‍රයෙන් ව්‍යංගය පිබිදීම බොහෝ විට සිදුවන්නකි. කනප්පුවට ජීවම් කරන ඇදුරා විසින් කනප්පුවට අණදීම සිදුකරනුයේ ඉන්පසුවය. මෙහිදී බොහෝ ඇදුරන් කනප්පුවෙන් සේරටම කලින් තුනුරුවන් වැඳලා අවසර ගන්න වැනි ඉල්ලීමක් කරන අයුරු මම දැක ඇත්තෙමි. එහිදී කනප්පුව එක පසෙකට මුළුමනින්ම ඇළවී නමස්කාර කිරීමේ ඉරියව්වක් පළ කරන අතර එය බොහෝ විට බලා හිඳින්නවුන්ගේ ලොමු දැහැගැන්වෙන දර්ශනයකි. ඇදුරාගෙන් ලැබෙන අණ සහ පුද්ගලයන් දෙදෙනකුගේ අත්‍ලේ ස්පර්ශය අනුව කනප්පුව තම රාජකාරියට බසින්නේ පසුවය.

මෙහිදී කනප්පුවකට කිසියම් සොරකමක් නිවැරදිව අල්ලා ගැනීමට යම් ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත් ඊට පදනම් වනුයේ ඊට අත තබාගෙන හිඳින පුද්ගලයන් දෙදෙනා තුළ ඇති එම සොරකම සම්බන්ධ සියුම් සංවේදීතාව සහ ඒ පිළිබඳ තිබිය හැකි උප විඥානගත සියුම් ඉවකි. එසේ කනප්පුවට අත තබා ගන්නා පුද්ගලයන් දෙදෙනාගේ යටි සිත් තුළ ක‍්‍රියාකාරීත්වය හෙවත් ව්‍යංගය මත පදනම් කරගත් මනෝ චාලක බලය සමසේ දෝලනය වීම මත කනප්පුව ද තම ගමන් මග සකසා ගනී.

ඒ අනුව මෙම කනප්පුව ගුරුකමින් සියයට සියයක් කෙසේ වුවද යම් ප‍්‍රමාණයක ප‍්‍රතිඵල ලද හැකි අවස්ථා ද තිබේ. එහෙත් ඒ කනප්පුවට අත තබා හිඳින දෙදෙනා තුළ එම සොරකම

පිළිබඳව ඇති සංවේදීතාව සහ ඒ සම්බන්ධ උපවිඥාන ගත ඉව මුල්කර ගනිමිනි. එසේ නොමැතිව කනප්පුව හෝ ඒ සඳහා ජීවම් කරන යන්ත‍්‍ර මන්ත‍්‍ර සතු ගුප්ත බලයක් නිසා නොවේ. නමුදු ඉහත සඳහන් පසුබිම යටතේ පුද්ගල යටි සිතේ ක‍්‍රියාකාරීත්වයන් මගින් මෙහෙයවන කනප්පුවක් අදාළ සොරකමට කිසිදු සම්බන්ධතාවයක් නොමැති නිවැරදිකරුවකුගේ නිවසකට යාමට ද බැරිකමක් නැත. නමුදු යම් හෙයකින් එසේ සිදුවුවහොත් ඉන් මුහුණ දීමට සිදුවන අනිටු ප‍්‍රතිඵල භුක්ති විඳ ගැනීම පිණිස තැළුම් තෙල් බෝතලයක් ද සූදානම් කර තබා ගැනීම නුවණට හුරුය.

අන්තර් ජාලයේන් ලබාගත් ව්ඞ්යෝවකි

Related

video 5382599605681023566

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item