මගේ කෙනා කඩවසම් කොල්ලෙක් - අසේකා විජයවර්ධන

කලාවේ මහ පෙළපත් දෙකක උරුමයෙන් ක්‍ෂේත්‍රයට පැමිණි අසේකා විජයවර්ධන ශ්‍රී ලාංකීය නර්තන කලාවේ අනාගතය ගැන තිබෙන සරුසාර අපේක්ෂාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. චන්න - උපුලී යුවළගේ ආදරණීය දියණිය අසේකා අප සමග කතාවට එකතු වුණා.

කොහොමද අසේකා?
හොඳයි. හොඳින් සතුටින් ඉන්නවා

මේ දිනවල සිදු කරපු කටයුතු මොනවාද?
පිටරට සංචාර කිහිපයක් ලැබිලා තියෙනවා. ඒවාට සහභාගි වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ වගේම සංදර්ශන කිහිපයක්ම සංවිධානය කරනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියට තේරිලා තියෙනවා. ඉතිං ඒකේ පළමු විභාගය පැවැත්වෙන හින්දා විභාගයට සූදානම් වෙනවා.



උපාධිය ලබා ගන්නේ කුමන අංශයකින්ද?
කලා අංශයෙන්. විෂයන් හැටියට නර්තනය, නාට්‍ය හා රංග කලාව, ජන සන්නිවේදනය තෝරාගෙන තිබෙනවා.

පුංචි කා‍ලේ පටන් අසේකාගේ හීනය වුණේ මොකක්ද?
ගුරුවරියක් වෙන්න. හැබැයි නර්තන අංශයෙන් නම් ‍නෙවෙයි.

ඒ කියන්නේ කුඩා කල නර්තනයට යොමු වීමට බලා‍පොරොත්තුවක් තිබුණේ නැද්ද?
මම ‍පොඩි කා‍ලේ හරිම ලැජ්ජයි. මම නිතර දෙවේ‍ලේ චිත්‍ර ඇඳීමට පුරුදු වෙලා හිටියා. මගේ අම්මයි, තාත්තයි පුදුම වුණා, මම නර්තනයට ඇවිත් මේ තරම් උනන්දුවෙන් ලස්සනට නර්තනයේ යෙදෙනකොට. ඒ ගොල්ලෝ හිතුවේ සීයා වගේ චිත්‍ර ශිල්පයෙන් ඉදිරියට එයි කියලයි.

දැන් බලා‍පොරොත්තු වෙනස් වෙලාද?
ඔව්. දැන් නම් නර්තනයට තිබූ ලැජ්ජාව නැතිවෙලා තියෙන්නේ. අම්මාගේ, තාත්තාගේ නම ඉදිරියට අරගෙන ගිහින් රටට සේවයක් කරන්නයි බලා‍පොරොත්තුව.

පෙම්වතෙක් ඉන්නවද?
තාම පෙම්වතෙක් නැහැ

පෙම්වතෙක් තෝරා ගන්නවා නම් කුමන ක්‍ෂේත්‍රයකින්ද?
කලා ක්‍ෂේත්‍රයේ පෙම්වතෙක් ලැබෙනවා නම් කැමැතියි.


හිතේ ඉන්න පෙම්වතා කොයි වගේ විය යුතුද?
මුල්ම දේ තමයි මම කරන කලාවට ආදරය කළ යුතුයි. ඒක ඉදිරියටම කරගෙන යන්න ඉඩ ප්‍රස්තාව දෙන්න ඕන. මොකද සමහරු කලාව නිසාම කැමැතිවෙලා දැන හඳුනගෙන පස්සෙ කලාවෙන් ඉවත් වෙන්න කියලා බලපෑම් කරනවා. ඒ නිසා මගේ පෙම්වතා කලාවට ලැදි කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම හැම කෙල්ලෙක් වගේම මාත් කැමැති කඩවසම් කොල්ලෙකුට.

කලා ක්‍ෂේත්‍රයේ අයගෙන් පෙම් යෝජනා ඇවිත් තිබෙනවාද?
ඔව්. ලැබිලා තියෙනවා. ඒවා ගැන අම්මා තාත්තත් දැනුවත්.

රංගනයට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවක් තිබෙනවාද?
රංගනයට යොමු වෙන්න නම් කිසිම අදහසක් නෑ.

නර්තන රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතෙන්නේ?
ඒ වගේ රියැලිටි ෂෝස් පැවැත්වෙන එක හොඳයි. හැබැයි සහභාගි වෙන අය දැනගන්න ඕනේ. රූපවාහිනියෙන් පේන්න විතරක් ඔය වගේ තරගවලට සහභාගි වෙන්න නරකයි. මොකද අපි නර්තනය දේවත්වයෙන් සලකනවා. මොනවා හරි ටිකක් නර්තනය කළාට මදි. ඒක හොඳ ගුරුවරුන් යටතේ ප්‍රගුණ කරන්න ඕන.


නර්තන රියැලිටි ෂෝවල විනිසුරු මඩුල්ල සඳහා නර්තනය හදරා නැති අය සහභාගි වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ ගැන අදහස?
ඔවුන් නර්තන ගුරුවරුන් නොවෙන්න පුළුවන්. ඒත් කිසියම් ක්‍ෂේත්‍රයක ප්‍රවීණත්වයට පැමිණි පිරිසක් නිසා සමහර විට නර්තන ගුරුවරුන්ට වඩා අඩුපාඩු අදහස් දක්වන්න ඔවුන්ට පුළුවන්. නමුත් විනිසුරු මඬුල්ල අතරේ එක්කෙනෙක් හෝ නර්තන ප්‍රවීණයකුත් ඉන්නවා නම් හොඳයි.

නර්තන රියැලිටි වැඩසටහන්වල නර්තනයෙන් සහභාගි වෙන්න කැමැති නැද්ද?
නැහැ. මගේ හැකියාව පෙන්වන්න තරග වදින්න වුවමනා නෑ. මගේ හැකියාවට මේ තියෙන සාක්ෂි ඇති.

පාසල් කාලය ගැන මතක් කළොත්?
මම කොළඹ කාන්තා විද්‍යාලයට ගියේ. මට විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය, මගේ යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා, මේ තැනට එන්න. මට ඉගෙනීමට ලොකු දක්ෂතාවක් නැහැ. හැමදාම පාසල් ගිහිල්ලා ‍පොත් පත් දිගහැරගෙන ඉන්න කෙනෙක් නම් ‍නෙවෙයි. පාස‍ලේ තිබුණු නර්තන වැඩසටහන්වලට විතරක් ‍නෙවෙයි, ‍පොදුවේ හැම කලා වැඩසටහනකටම උපරිම සහයෝගය ලබා දුන්නා.

අසේකාගේ ගුරු තනතුර හිමිවෙන්නේ අම්මාටද, තාත්තාටද?
මගේ අම්මයි, තාත්තයි තමයි මගේ නර්තන ගුරුවරුන්. ඒ දෙන්නා තමයි මගේ මුළු ලෝකයම. ඒ දෙන්නා මට කිසිම දේකට බලපෑමක් කරලා නැහැ.


ශ්‍රී ලාංකේය නර්තනයට විදේශීය ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර තියටර් එකේ නර්තන ප්‍රසංගයක් පවත්වන්න ලැබුණා. එහි තියටර් එකේ ශාලා කීපයක්ම තිබෙනවා. ඒ අතර උරින් උර ගැටිලා ප්‍රේක්ෂක සිත් රැසක් අපේ ශාලාවට එකතු කරගන්න ලැබිම ඒකට හොඳ සාක්ෂියක්.

මේ ආ ගමනේ ලැබූ ඉහළම ජය මොකක්ද?
කණ්ඩායමක් වශයෙන් 2011 වර්ෂයේ බර්ලින් නුවර කානිවල් ඔෆ් කල්චර්ස් තරඟාවලියේ විදේශ රටවල නර්තන කණ්ඩායම් අනූනවයක් අතරින් ප්‍රථම ස්ථානය ලබාගනු ලැබුවා.

අසේකා වටා සිටින ප්‍රේක්ෂකයන්ට කියන්නේ මොනවාද?
අද සිටිනවා වගේ ඉදිරියටත් ළඟින්ම ඉන්න. නව නිර්මාණ සඳහා ප්‍රතිචාර ලබා දෙන්න. ඒ තුළින් තමයි අපි ශක්තිමත් වෙන්නේ. නව නිර්මාණ බිහි වෙන්නේ.

Related

Actor Actress 605414215281050936

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item