සර්පයින්ගෙන් ගැලවීමක් නැති දීපිකා

සර්පයින්ගෙන් ගැලවීමක් නැති දීපිකා
තිස් අට වතාවක් සර්පයින්ගේ දෂ්ඨ කිරීම් වලට ලක්වු කාන්තාවක් ගැන තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙසේ තිස්‌ හය වතාවක්‌ නාගමාපිල්ලන්ගේ දෂ්ඨ කිරීම්වලට හා පොළඟෙකුගේ දෂ්ඨ කිරීමකට ලක්‌ව තිස්‌ අට වතාවක්‌ සර්ප විෂ ශරීරගත කරගත් දීපිකාගේ ජීවිතය තිස්‌ එක්‌වතාවක්‌ බේරාගෙන ඇත්තේ තිස්‌සමහරාම ලූකස්‌ගොඩ පදිංචිව සිටින දේශීය සර්ප විෂ වෛද්‍යවරයකු වූ පුණ්‍යවංශ වෙද මහතා විසිනි.

පුංචි පුතුද තුරුලු කරගෙන තද නින්දේ පසුවූ දීපිකාට තම අත මත සීතල යමක්‌ තැවරෙනවා වගේ දැනී ඇහැරිණි. එවිට ඇය දුටුවේ තම පුතුගේ මුහුණ උඩින් ඇදී යන විසකුරු සර්පයෙකි. වහාම ක්‍රියාත්මක වූ ඇය සර්පයා අතින් අල්ලා ජනේලයෙන් එළියට විසිකර දමා සර්පයෙක්‌, සර්පයෙක්‌ යෑයි කෑගැසුවාය.ඇයගේ එම කෑගැසීම යන්තමට මෙන් ඇසී නින්දෙන් නැගිට ගත් පවුලේ අයට දැකගත හැකිවූයේ සිහිසුන්ව නිදි පැදුරේ ඇද වැටී සිටින දීපිකායි. ඒ එක්‌කම මිදුලේ ඇදී යන නාග මාපිලෙක්‌ද ඔවුන්ට දැකගත හැකිවිය.සිදුව ඇති දේ තේරුම් ගන්නට වැඩි වේලාවක්‌ ගත නොවූ ඔවුහු හැකි ඉක්‌මනින් දීපිකා තිස්‌සමහරාම මූලික රෝහලට රැගෙන ගියහ. එහිදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරු දීපිකාගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට මහ රෝහලට යවා තිබේ.එහිදී ජීවිතයත් මරණයත් අතර සිටි දීපිකාගේ ජීවිතය දින කිහිපයකට පසු බේරා දෙන්නට වෛද්‍යවරුන්ට හැකි විය.

එහිදී ඇය රෝහලෙන් පිටව යද්දී කීවේ මෙවැනි කථාවකි.

"ගෙදර ඇරල තිබුණු ජනේලයෙන් තමයි ඔය සර්පයා ගෙට ඇවිල්ල තියෙන්නේ. මගේ පුතාගේ ඇඟ උඩින් ඌ ඇවිල්ල මට දෂ්ඨ කරලා ආපසු පුතාගේ මූණ උඩින් ඇදිල යනවිට මට සීතලක්‌ දැනිල ඇහැරුණේ. ඒ වෙලාවේ මම ඉඳල තියෙන්නේ අඩසිහියෙන්. පුතාගේ මුහුණ උඩ ඉඳල සර්පයා විසි කරනවා මට යන්තමට වගේ මතකයි. ඊට පස්‌සේ සිහිය එනවිට මම හිටියේ රෝහලේ. වෙන කිසිවක්‌ මට මතක නැහැ."

මෙසේ දීපිකාට සර්පයකු දෂ්ට කළ පළමුවතාව මෙය නොවෙයි. ඇයට මේ වනවිට නාගමාපිල්ලු තිස්‌ හය දෙනකු තිස්‌හය වතාවකදී දෂ්ඨ කර තිබෙනවා. මීට අමතරව එක්‌ වතාවක්‌ පොළඟකු දෂ්ඨ කර තිබෙනවා. ඒ ඉකුත් ජුනි මස 24 වන දිනයි. තිස්‌සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන - 03 අංක 566 යන ස්‌ථානයෙහි පදිංචි දීපිකා එම පොළඟාට ගොදුරු වූයේ තිස්‌සමහාරාම ඇල්ලගල ප්‍රදේශයෙහි එළවළු කොටුවක කුලී වැඩට ගිය අවස්‌ථාවෙහිදීය.

තිස්‌ අට හැවිරිදි වියේ පසුවන එක්‌දරු මවක්‌ වන දීපිකාට වයස අවුරුදු දාහතරේදී 1996 වර්ෂයේදී පළමු වතාවට නාගමාපිලකු දෂ්ඨ කර ඇති අතර එදා සිට ඇය සර්පයන්ගේ දෂ්ඨ කිරීම්වලට ගොදුරු වේ. ගොවිතැනක්‌, කුලී වැඩක්‌ කර තම ජීවිතය ගැට ගසා ගන්නා දීපිකාට මේ වනවිට කුලී වැඩකට වත් යා නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබේ. ඇය කොයිබ කොතැනක ගියත් විසිකුරු සර්පයන් ඇය සොයා ගෙන ඇවිත් ඇයට දෂ්ඨ කරයි.

විශාල පිරිසක්‌ මැද ඇය සිටියත් ඇය සොයා එන සර්පයන් නිසා ඇය සමඟ එකට වැඩ කරන්නට කිසිවකු කැමැති නැත. හිතමිතුරෙකු වුවත් මගතොටේදී වගා බිමේදී වුවද හමුවුවහොත් ඇය සමඟ කථා බහ කරන්නේ සර්පයන් ඇය සොයා කොයි මොහොතේ ඒවිදැයි බියෙන් වටපිට බලමිනි.

නිවසෙන් පිටව දුර බැහැර පිට පළාතකට ගියත් ඇයට සිදුව ඇත්තේ විෂකුරු සර්පයන්ගෙන් බේරී සිටීමටය. වරක්‌ ඇය මිතුරියකගේ නිවසෙහි පැවැත්වෙන උත්සවයකට සහභාගිවීමට මහියංගන ප්‍රදේශයට ගිය අවස්‌ථාවෙහි හිත මිතුරියන් පිරිසක්‌ සමඟ මහවැලි ගඟෙන් නා ගොඩට එන අවස්‌ථාවේදී නාගමාපිලකු ඇයට දෂ්ට කළේය. මේ නිසා මහියංගන රෝහලෙහි දින ගණනාවක්‌ නේවාසිකව ප්‍රතිකාර ලැබීමට සිදුවූවාය.

කාලයක්‌ කොළඹ ප්‍රදේශයෙහි ඇඟලුම් සේවිකාවක්‌ වශයෙන් සේවය කළ දීපිකාට කොළඹ ග්‍රාමීය ප්‍රදේශයකදී ද නාග මාපිලකු දෂ්ඨ කර ඇත. තවත් වරෙක අම්පාර 7කණුව ප්‍රදේශයේදී නාග මාපිලකුගේ දෂ්ඨ කිරීමකට ඇය ගොදුරු වූයේ මිතුරියකගේ නිවසේදීය.

මේ වනවිට ඇයගේ දත් එකින් එක වැටෙමින් පවතින අතර ඇස්‌ පෙනීමේ දුර්වලතාවකට මුහුණපා තිබේ. තද හිස කැක්‌කුම ක්‌ලාන්ත ගතිය, ඇය කසා පලුගැසීම, කකුල් ඉදිමීම වැනි රෝග රැසකින් පෙළෙන ඇය ඉල්ලා සිටින්නේ මෙම රෝග තත්ත්වයෙන් සහමුලින්ම සුවය ලැබීමට හැකි වෛද්‍යවරයකු ඉදිරිපත්වී ප්‍රතිකාර ලබාදෙන ලෙසය.තමන් පසු පස පැමිණ දෂ්ට කරන විසිකුරු සර්පයන්ගෙන් බේරීමට යම් මගක්‌ හෝ ප්‍රතිකාර ක්‍රමයක්‌ තිබේනම් දන්වන ලෙස ඇය ඉල්ලා සිටියාය.

හරි හැටි කුලී වැඩක්‌වත් කර ගැනීමට නොහැකිව මුගුණුවැන්න මිටියක්‌, ගොටුකොළ මිටියක්‌, පොළට රැගෙන ගොස්‌ විකුණා ජීවිතය ගැට ගසා ගන්නට වෙර දරන තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීමට මිල මුදලක්‌ නොමැති බව දීපිකා පැවැසුවාය.

Related

Sport News 4273128799777211934

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item