මහින්දගේ හදිසි ඇමෙරිකානු ගමන පිටුපස රහස



'ඇයි මහින්ද හදිසියේම ඇමෙරිකා ගියේ...?'පසුගිය සතියේම දේශපාලනය ගැන කතාබහ කරන තැන්වල මාතෘකාව වූයේ ඒකය.මහින්ද මේ වගේම 2011 ජනවාරි මාසයේදී රහසේම හූස්ටන් බලා ගියේය. ඒ සංචාරය පිළිබඳ මෙරට මාධ්‍ය ප්‍රශ්න කරද්දී ආණ්ඩුව කීවේ එය පෞද්ගලික සංචාරයක් යැයි කියාය. මහින්දගේ සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ පදිංචිව සිටින්නේ හූස්ටන්වල බවත් සිය සොහොයුරා බලන්න මහින්ද එහි ගිය බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කළේය.

ඒත් පසුව වාර්තා වූයේ මහින්ද එහිදී ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හමු වූ බවය. 2006 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට ගිය මහින්දට එවකට ඇමෙරිකානු ජනාධිපති බුෂ් හමු වූ විට ත්‍රස්තවාදීන්ව විශ්වාස නොකරන්න යැයි බුෂ් පැවැසූ බවත් ත්‍රස්තවාදීන්ව විනාශ කළ යුතු යැයි බුෂ් මහින්දට උපදෙස් දුන් බවත් හෙළි විය. 2011දී විශ්‍රාම සුවයෙන් සිටි බුෂ් හමුවීමට මහින්ද ගියේ බුෂ්ගේ උපදෙස් පරිදි තමා ක්‍රියා කළත් ඔබාමාගේ ආණ්ඩුව තමාට එරෙහි යුද අපරාධ චෝදනා නඟන බව කියා ඊට එරෙහිව බුෂ්ගේ රිපබ්ලිකන් පක්ෂයේ උදවු පතන්නටය.

ඒ වනවිට ස්විට්සර්ලන්තයෙන් බුෂ්ට එරෙහිව යුද අපරාධ චෝදනා නඟා තිබිණි. යුද අපරාධ චෝදනා මත බුෂ්ට එරෙහිව වෙනත් රටක පුරවැසියන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යයි යන බියෙන් බුෂ් විදේශ රටවල යෑම සීමා කොට ඇත. මහින්ද බුෂ්ගේ උදවු පතන්න ඇත්තේ තමාටත් එවැනිම ඉරණමකට මුහුණ දීමට සිදුව ඇති නිසා විය හැකිය. මහින්ද එම ගමනේදී ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති එවකට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව භාර සහකාර ලේකම් රොබට් බ්ලේක් හමු වූ බවද වාර්තා විය.


මහින්ද එදා ඇමෙරිකාවට ගියේ ලංකාවේ යුද අපරාධ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු යැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඇමෙරිකාවට බලපෑම් කරද්දීය. මහින්දගේ ඇමෙරිකානු සංචාරයට එරෙහිව ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක්ද නිකුත් කළේය.

මහින්ද මෙවර හදිසියේ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ ඇමෙරිකාවේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වූ රයන් ගුඩ්මෑන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙක් වන හෙයින් ඔහුට එරෙහිව යුද අපරාධ නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරය ගැන ඇමෙරිකානු කොංග්‍රසයට වාර්තාවක් ඉදිරිපත් කොට තිබියදීය. ඔහු මෙය ඉදිරිපත් කළේ අගෝස්තු මුලය. ඉන්පසු International Export Credit Agencies නම් ආයතනය ලංකාවත් සමඟ ගනුදෙනු කිරීමේදී සම්බාධක දමන්න යන බව මාධ්‍ය වාර්තා කළේය. ඒ වගේම The Global Insurance giant American International Group (AIG) ලංකාවේ සිය ව්‍යාපාර වසා දමා ඉවත්ව යන බව නිවේදනය කළේය. අලුතින්ම මාධ්‍ය වාර්තා කරන්නේ ලංකාව සම්බන්ධ ඔබාමා ආණ්ඩුවේ මතය වෙනස් කිරීමට භාරදුන් එරට මහජන සම්බන්ධතා සමාගම් සමඟ ගිවිසුම් අස්සන් කළ මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරගෙන යන බවය.

මහින්ද හදිසියේ හූස්ටන් බලා ගියේ මේ සියල්ල මැදය. මහින්දගේ සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙකි. තම සොහොයුරාගේ ආණ්ඩුවට සහ තම සහෝදරයන්ට එරෙහිව ඇමෙරිකාව ක්‍රියා කළොත් ඇතිවන ප්‍රතිවිපාක ඔහු දනී. එය තමන්ටත් බලපාන බව ඔහු නොදන්නවා නොවේ. ඔහු මහින්දව ඇමෙරිකාවට රැගෙන ගියේ ඇමෙරිකාවත් මහින්දත් අතර ප්‍රශ්න බේරා ගත හැකි මාර්ගයක් හොයන්නද කියන්න දන්නේ නැත. 2011දී පෞද්ගලික සංචාරයකට යැයි කියා ගිය මහින්ද බුෂ් හමුවූ බව හෙළි වූයේ පසුවය.

මේ වේලාවේ මහින්දගේ ආණ්ඩුවේ මාධ්‍යයන්ට අනුව ඇමෙරිකාව කියන්නේ එදා ප්‍රභාකරන් ජීවත්ව සිටියදී මහින්දට කිලිනොච්චිය වගේය. එහෙම බලනකොට මහින්ද ගිහිල්ලා තියෙන්නේ මරු කටටය. මේ වේලාවේ මහින්ද මරු කටට යන්නේ නිවාඩු ගත කරන්න නම් නොවේ. සමහරු වෛද්‍ය පරීක්ෂණයකට ගියාය කියයි. 2011දීත් මේ කතාව ප්‍රචාරය විය. තවත් අය කියන්නේ ජේ‍යාතිෂ හේතු මත ඇමෙරිකාවට යන ලෙස ජේ‍යාතිර්වේදීන් උපදෙස් දුන් බවය.

ජේ‍යාතිර්වේදීන් අපලවලින් ගැලවෙන්න යන්න ඕනා රටවල් කියන බවත් මහින්දට ඇමෙරිකා යන්න කියූ බවත් සමහරු කියති.
කොහොමත් මහින්ද මේ වනවිට ලංකාවට පැමිණ සිටිය යුතුය. ඇමෙරිකානු ගමනින් පසු මහින්ද මොකාටද අඳින්න යන්නේ කියල ඇස් ගහගෙන බලා හිටියොත් මහින්දගේ ඇමෙරිකානු ගමනේ රහස හොයා ගැනීම දුෂ්කර නැත.



උපුල් ජෝෂප් ප්‍රනාන්දු.

Related

Hot News 8174455063648707383

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item