tsȖ අඩවියෙන් ඔබත් පිනට සල්ලි ගන්න ගියාද? tsȖ ජාවාරම ගැන කියවන්න
https://33000g.blogspot.com/2014/10/tsu-tsu.html
tsȖ අඩවියෙන් ඔබත් පිනට සල්ලි ගන්න ගියාද? tsȖ ජාවාරම ගැන කියවන්න
tsȖ වෙබ් අඩවිය ගැන පසුගිය සතියේ පටන් දැවැන්ත ප්රචාරයක් අන්තර්ජාලය හරහා විවිධ පාර්ශව ලබා දුන්නා. ඊට හේතුව වූයේ tsȖ නම් නවතම සමාජ ජාල වෙබ් අඩවිය එහි සිටින සාමාජිකයන්ගේ Post වලට හා Comments වලට මුදල් ගෙවනා බවට ගිය දැන්වීම් සමගයි. මුදල් ගෙවනා බවක් කියූ සැනින් බොහෝ දෙනා මෙම සමාජ ජාල අඩවියේ ලියාපදිංචි වීමට කටයුතු කලා. අතේ සතේ නැතිව Facebook සමාජ ජාලයේ කාලය කනවාට වඩා යම් මුදලක් ලැබෙනවා කියූ සැනින් එයට යොමුවීම එතරම් පුදුමයට කරුණකුත් නොවෙයි. නමුත් මොකක්ද මේ කියන්නේ. සැබවින්ම එයින් මුදල් ලැබෙනවාද? මෙම ලිපිය ඔබව එම සමාජ ජාල අඩවිය ගැන දැනුවත් කිරීමටයි.
1. tsȖ වෙබ් අඩවියෙන් ඉපයූ මුදල් ඔබට ලැබෙන්නේ කෙසේද ?
tsȖ වෙබ් අඩවිය පවසා සිටින පරිදි ඔබ උපයන මුදල් ඔබට ලැබෙන්නේ ඔබේ tsȖ බැංකු ගිණුමටයි. හොදින් මතක තබා ගන්න මුදල් ලැබෙන්නේ tsȖ බැංකු ගිණුමට මිසක් ඔබට නොවෙයි.
මෙම වෙබ් අඩවියෙන් අඩුම තරමේ ඩොලර් 5ක මුදලක් වත් උපයා ගැනීමට හැකි වුනොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. ඔවුන් සදහන් කර සිටින්නේ මුදල් බැහැර කරගැනීමට නම් ඔබ ඩොලර් 100ක මුදලක් උපයාගත යුතු බවයි. එම හේතුව නිසාවෙන් තමයි tsȖ පරිශීලකයින්ට කිසිදු මුදලක් උපයා ගැනීමට නොහැකි වන්නේ. මොකද දවසකට උපයා ගැනීමට හැකියාව ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලකි. එසේ බලන කල ඩොලර් 100ක මුදලක් උපයා ගැනීමට නම් අවුරුදු 28ක පමණ කාලයක් ගත වෙනවා. මුදල් බැහැර කිරීමට හැකි අවම අගය ඩොලර් 100 සම්පූර්ණ වෙනකන් මුදල් බැහැර කරගැනීමට නොහැකි වීම නම් බොහෝ කාලයක් ඔවුන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඔබව රදවා තබා ගැනීම සදහා ඔවුන් යෙදු උපක්රමයකි. දවසකට උපයන එම සත ගණන වුවද ඉපයීමටද අන්තර්ජාලය පුරා ස්පෑම් කරමින් දැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වෙන බව හොදින් මතක තබා ගන්න.
2. ආදායමෙන් සියයට 10ක මුදලකින් සමාජ ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑමට හැකිද ?
සර්වර්ස්, බෑන්විත්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සපෝට් ටීම්ස් යන සියල්ල නඩත්තු කිරීමට ආදායමෙන් සියයට 10ක් මුදලක් සෑහේවිද? එයින් පැහැදිලි වෙන දෙයක් නම් සමාජ ජාලය නඩත්තු කිරීම සදහා ලැබෙන මුදල් ප්රමාණවත් නොවීම හේතුවෙන් සර්වර් මන්දගාමී වීම, පරිශීලකයින්ගේ ගැටළු විසදීම ප්රමාද වීම හෝ එවැනි සේවාවක් නොසැපයීම, ආරක්ෂාවේ හිග තාවය හේතුවෙන් හැකර් වරුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි. ඔබ දන්නවද ? මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සදහා සෑම වෙබ් අඩවියක්ම පාහේ භාවිතා කරන HTTPS/SSL වැනි ආරක්ෂාව සම්බන්ධ වූ කිසිදු පහසුකම් මේ වන විටත් ට්සු සතුව නැහැ. එවැනි වෙබ් අඩවියක් පිලිබදව කෙසේ නම් විශ්වාසය තබන්නද ?
මෙම තත්වය ඔබට අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා ඔබේම කියා වෙබ් අඩවියක් පටන් ගතහොත්. එවිට ඔබට වැටහේවි උපයන ආදායමෙන් සියයට 10ක කොටසක් වෙබ් අඩවිය නඩත්තු කිරීම සදහාවත් නොසෑහෙන බව.
3. නීතිමය ගැටළු
ඔබ වෙන කෙනෙකුට අයත් දෑ භාවිතා කරනවාද යන්න සොයා බැලීම සදහා You Tube සහ Google වැනි වෙබ් අඩවි විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරනවා. එහෙයින් වෙන කෙනෙකුට අයත් වීඩියෝවක් භාවිතා කරමින් You Tube හරහා මුදල් ඉපයීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම කාර්යය සදහා අවශ්ය කරන මුදල් ඔවුන් වෙන් කරගනු ලබන්නේ වෙබ් අඩවියෙන් ඔවුන් උපයා ගන්නා ආදායමෙනි. මදක් සිතා බලන්න tsȖ ආයතනය ඒ සදහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ලැබෙන සියයට 10ක ආදයමෙනි. නමුත් මේ වන විට එවැනි තාක්ෂණයක් tsȖ වෙබ් අඩවියේ ඇත්තේ නැහැ.
tsȖ වෙබ් අඩවිය පවසා සිටින්නේ tsȖ වෙබ් අඩවිය තුල ඔබ පලකරන දේවල් වල නියම හිමි කරුවා DMCA පැමිණිල්ලක් සිදු කරනු ලැබුවොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් එවැනි පැමිණිල්ලක් පැමිණීමට කාලයක් ගත වෙන හෙයින් tsȖ වෙබ් අඩවිය ඒ වන විට ඒවා ප්රචාරණය කර සහ එයින් මුදල් සොයා ගෙන හමාරයි. හොදින් සිතා බලන්න මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු සමාජ ජාල වෙබ් අඩවියක් මෙසේ කටයුතු කිරීම කෙතරම් ප්රාථමිකද? සහ අසාර්ථකද කියා. පවතින තත්වය මත tsȖ වෙබ් අඩවියට ඇතිවෙන් නීතිමය ගැටළු කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.
ඔවුන් ඒ වන විටත් ගෙවූ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරානවාද ?
tsȖ වෙබ් අඩවිය භාවිතා කරන ප්රාථමික ආරක්ෂිත ක්රම හේතුවෙන් තමන්ට අයිති දේවල් වෙන කෙනෙක් tsȖ වෙබ් අඩවිය තුල භාවිතා කරනවාද යන්න පවා නියම හිමිකරුවාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. එහෙයින් කිසිදු පැමිණිල්ලක්ද නොපැමිනෙන අතර tsȖ වෙබ් අඩවිය එම දේවල් වලින් දිගටම මුදල් ඉපයීම සිදු කරනවා. මෙය කිසිසේත් ආචාර සම්පන්න නොවෙන නීතිවිරෝධී තත්වයකි.
4. tsȖ වෙබ් අඩවිය අනුගමනය කර කුට උපක්රම.
tsȖ වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයින් පවසා සිටින කරුණක් නම් දවසකට පල කර හැකි උපරිම Post ප්රමාණය දවසකට 5 දක්වා අවම කිරීමයි. එසේ සිදු කිරීම සදහා හේතුව වශයෙන් tsȖ වෙබ් අඩවිය පවසා සිටින්නේ ඇතිවී තිබෙන Spam තත්වය සීමා කිරීමට බවයි. අචාර ශීලීව කටයුතු කරන හොද පරිශීලකයින්ට මෙයින් අසාධාරනයක් සිදු වෙනවා නොවේද? මෙම ක්රියාවලිය මගින් Spam තත්වය අවම කරගැනීමට හැකි වුනත් මුදල් බැහැරකරගැනීමේ අවම අගය වන ඩොලර් 100 මුදල උපයා ගැනීම නම් පරිශීලකයින්ට සිහිනයක් පමණක් වෙනවා. තවද tsȖ පරිශීලකයින් පවසා සිටින්නේ tsȖ වෙබ් අඩවියේ තමන් සාදාගත් ගිණුම අවලංගු කිරීම සදහා කිසිදු පහසුකම් මේ වන විටත් සලසා දී නොමැති බවයි. ඒවගේම tsȖ ආයතනය වෙත යාවන Email පණිවුඩ සදහාද කිසිදු ප්රතිචාරයක් නොමැති බවද පරිශීලකයින්ම පවසා සිටිනවා.
අලුතින් ඇතිවන දේවල් අත් හදාබැලීම යහපත් වූවත් මුදල් ගෙවනවා කියූ පමණින් තමන් අමාරුවේ වැටෙන දෑ නොකීරීමට වගබලාගැනීම වැදගත් වනවා. එවිට වැඩි මුදලක් ලබාගැනීමේ අරමුණෙන් සක්විති ළඟ මුදල් ආයෝජනය කල පාරිභෝගිකයින්ට අත්වූවා වැනි අපහසුතාවයන්ට ඔබද ලක්විය හැක.